Thursday, June 17, 2021

අපේ දේසේ අපේ කතා - 05-අපේ ක්‍රිකට්

 


ක්‍රිකට් කියන්නේ සුද්දන්ගෙ ක්‍රීඩාවක් උනත් ලාංකිකයින් විදියට අපේ බොක්කටම දැනෙන ක්‍රීඩාවක්නේ ඕක.කොච්චර ක්‍රිකට් ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල තියෙනවද කියනවනම් පොඩි එකෙක්ගෙන් අපේ ජාතික ක්‍රීඩාව මොකක්ද කියලා අහද්දි ක්‍රිකට් කියන එක පුදුම වෙන්න ඕනේ උත්තරයක් නෙමේ.


දැන් අවුරුදු කීපයක් තිස්සේ නම් හැබැයි ලංකාවේ ක්‍රිකට් තියෙන තැන ගැන අමුතුවෙන් කාටවත් පැහැදිලි කරන්න ඕනේ නෑ.ක්‍රිකට් තමන්ගේ වෘත්තිය හරි පැෂන් එක හරි මොනවා උනත් සෙල්ලම්කරද්දි තම තමන්  ගැන විතරක් හිතලා නම් රටක් වෙනුවෙන් පෙනී ඉන්න අමාරුයි.පෙනී හිටියත් ජයග්‍රහණ ලබාගන්න අමාරුයි.වෙලාවකට මට හිතෙනවා ලංකාවේ ක්‍රිකට් ටීම් එකට අපේ ක්‍රීඩා සමාජෙ ටීම් එක සෙට් කරන් ගියත් ගහලා එන්න පුළුවන් සයිස් එකක් දැන් තියෙන්නේ කියලා.රටේ ක්‍රිකට් කොහොම උනත් අපේ ක්‍රිකට් තියෙන්නේ හදවතේ.ඒ හින්දා කවදා හරි දිනයිනේ කියලා හිතලා අපිත් ඔහේ බලන් ඉන්නවා ඉතින්.


පොඩි කාලේ,ඉස්කෝලෙ කාලෙ කොච්චර ක්‍රිකට් ගැහුවත් මේ ක්‍රිකට් පිස්සුව පිස්සුවක් විදියට මට ඔළුවට ආවේ පළවෙනි පාර A/Level කරන කාලේ.ඒ කාලේ අපේ ගෙවල් පැත්තටම තිබ්බ එකම රබර් වත්තත් වෙන්දේසි කරලා කොල්ලොන්ට සුපිරි ග්‍රවුන්ඩ් එකක් හැදිලා තිබ්බේ.පොඩි උන් සරුංගල් යවනවා,ක්‍රිකට් ගහනවා,බයිසිකල් පදිනවා,කෙල්ලෝ ඇවිල්ලා බැඩ්මින්ටන් ගහනවා ඒ අස්සේ පොඩියට දාපු ලර්නස් එහෙමත් තැන් තැන් වල තිබ්බා.


මන්තුමත් ඉතින් විභාගේ කියලා අමාරුවෙන් තමා මෙව්වා බල බල ගෙදර ඇවිල්ලා ඊළග දවසේ පේපර් එකට ලෑස්ති වෙන්නේ.ඉවසන් ඉඳලා ඉඳලා පොදු පරීක්ෂනය තියෙන්න කලින් දවසේ නම් ඕනේ මඟුලක් කියලා මාත් ආව සරුංගල් ඇරලා ක්‍රිකට් අතක් එහෙමත් සෙල්ලං කරන්න හිතන්. ඒක දැකලා ඒ කිට්ටුව ඉන්න ඇන්ටි කෙනෙක් අහනවා ඔයා මේ පාර විභාගේ නේද පාඩම් කරන්නේ නැද්ද කියලා.මන් ඉතින් ශේප් එකේ එයාව මග ඇරලා වෙන පැත්තකට ගියා.ආයේ ඉතිං පොදු පරීක්ෂනය තියෙන්නේ කියලා ඇන්ටිට පැහැදිලි කරනවාට වැඩිය පියුමිට බුද්ධාගම කියලා දෙන එක ලේසියි කියලා මට ඒ කාලේම හිතෙන්න ඇති.


කොහොමහරි මන් යද්දි අපේ මල්ලිලා සෙට් එකක් සෙට් වෙලා ක්‍රිකට් ගහනවා.සමහර එවුන් නම් මන් දැක්කේත් එදා.උන්ටත් මන් දැක්කම එහෙම හිතෙන්නේ ඇති.මොකද ඉන්නේ ගමේ උනත් අපි වැඩිය එළි බහින්නේ නැති මිනිස්සු කොටඨාසයක්නේ.කොහොමින් කොහොම හරි මගේ මල්ලිලත් එතන හිටිය නිසා කට්ටියව පොඩ්ඩක් අඳුනගෙන මාත් ක්‍රීඩාව පටන් ගත්තා.බෝල දාන්න කීප සැරයක්ම අවස්ථාව හම්බුනත් චක් ගහන සීන් ඒක නිසා වැඩේ අල්ලලා දැම්මා.බලද්දී ඔක්කොම එවුන් චක් කාරයෝ.ආයේ මොනාද ඉතින් එදා ඉඳලා මාස ගානක් අපි ඔය ඉඩමේ ක්‍රිකට් ගැහුවා.


දවසක් ඔහොම ක්‍රිකට් ගහන්න සෙට් වෙලා අපි ග්‍රවුන්ඩ් එකේ බලන් ඉන්නවා.එකෙක්වත් එන පාටක් නෑ.කීප දෙනෙක්ට පණිවිඩ යවන්න මල්ලිව යවලා මාත් ගත්තා තව එකෙක්ට කෝල් එකක්.

"දසුනා කෝ බං උබ.දැන් වෙලාව බලපන්කෝ.හවස් වෙනවා බං වරෙන්කෝ."

"හරි හරි එනවා.මේ බත් කටක් කෑවා බං"

"විදුරංග අයියත් එනවා නේද උබ එක්ක "

"ඌ නම් දන්නේ නෑ බං ඌ එයි මන් ඌට අරන් බලන්න ද?"

"නෑ නෑ ඉස්සෙල්ලා උබ වරෙන්නේ.දැන් කොහෙද ඉන්නේ කියහන්"

"අඩෝ මන් මේ වෙල මැද්දේ එන ගමන් මචං"


"පච කෙලින්ම එපා මයිනො උබේ ලෑන්ඩ් ෆෝන් එකට ගත්තේ මන්."


~සිතූ~

අපේ දේසේ අපේ කතා - 04- අපේ ඉස්කෝලේ

ඉස්කෝලෙ කිව්වහම හැමෝම වගේ කියන්නේ අනේ හරිම සුන්දරයි ආයේ යන්න තියෙනවනම් හරි ආසයි වගේ කතානේ.අම්මපා මුන් ඉන්න තිබ්බේ අපේ ඉස්කෝලේ.ඉස්කෝලෙ නම් තව කමක් නෑ කියමුකෝ 10-11 අවුරුදු වල අපේ පන්තියේ.කොහේ කුණුගොඩකට වුණත් දශමෙකින් හරි ගෑවිච්ච හරිම නිවිච්ච ළමයි හිටිය පන්තියක් ඒක. මොකට කියනවද ඉතින්.ගුරුවරයෙක්ට කරදරයක් කරලා තිබ්බත්, කොහෙ හරි ගුටි කෙළියක් වෙලා තිබ්බත් ,පිරියඩ් කට් කරලා ග්‍රවුන්ඩ් එකේ ඉඳලා මාට්ටු වුනත් ,ඉස්කෝලෙන්  කලින් පැනලා ගිහින් තිබුණත්,පන්තියේ රතිඥ්ඥා පත්තු කරලා ,බෑග් වලින් ගහගෙන,පන්තිවලින් කොසු උස්සලා ඔය වගේ එකී මෙකී නොකී මොන දේ වුනත් අපේ පන්තියේ එකෙක් හරි ඉන්නවම තමා ගෑවිලා.


අපි කිව්වට ඉතින් මන්තුමා ඒ දවස් වල හරිම නිවිච්ච් ළමයා.ඔය කිව්ව කිසි වැඩකට මන් නෙමේ ඕං සම්බන්ධ වුණේ.හැබැයි ඉතිං කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු වගේ හැම ජඩ වැඩේටම ගුට්ට සෙට් වුනේ මන් ඇතුළු පන්ති නායක උප නායක ගැන්සියට.


අපේ හිටියා ඒ දවස්වල කුමාර කියලා සර් කෙනෙක්.එයා තමා සෙක්ෂන් හෙඩ්.මොකේට හරි අපේ පන්තිය මාට්ටු උනාම ඇවිල්ලා හිටගන්නවා දොර ගාවින්.දැන් කියපන් කව්ද මේක කලේ.ඉතින් මොකෙක්වත් හ්ම් නෑ. හරිම සිල්වත් .අහිංසකයො වගේ බලාගෙන ඉන්නවා.දැන් උබලා දන්නේ නෑ.වරෙල්ලා පන්ති නායකයි උප නායකයෝ සෙට් එකයි.අනේ තාම මතකයි පස්සට වදින ඒ වේවැල් පාරවල් වල රහ.එහෙමයි කියලා එකෙක් පාවල දුන් නෑ. පාවලා දුන්නනම් එහෙම ඔයිට වැඩිය කෑමක් වැඩේ කරපු උන්ගෙන් කන්න වෙනවා. ඒක වෙන සීන් එකක්.


ඔහොම සන්තෝසෙන් අපි ඉස්කෝලෙ ඉන්න අතරේ පුහුණු වෙන්න ආව ගුරුවරු කීප දෙනෙක්.එක්කෙනෙක් කටු චූටි.කෙට්ටු සිරුරක් තිබ්බ ටීච කෙනෙක්. කොල්ලො කිව්වේ කටු චූටි කියලා.එයාගේ ඇත්ත නම නම් මට මතක හිටියේ නෑ.කොල්ලො විතරක් ඉන්න පන්තියකට උගන්නනවා කියලා කියන එක අලුත් ගුරුවරයෙකුට ලේසි වෙන් නෑ.ඉතින් මේ කටුචූටිටත් ඒ කතාව එලෙසම තමා.උගන්නනවා කියන එක කෙසේ වෙනත් කොල්ලෙන්ව එක අරමුණකට අරන් පාඩමක් කියලා දෙන්නත් අමාරු සීන් එකක් තිබ්බේ.


එයා දවසක් පන්තියට ආව වෙලාවක ඔන්න මං යනවා ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ළඟ තිබ්බ කවුන්ටරේ ගාවට ශර්ට් එකට අල්ලන බැජ් ගන්න.මොකෝ පන්තියේ හිටිය කියලත් වැඩක් වෙන්නේ නෑනේ.අපේ එවුන්ගේ වැඩේම ඒ මිස්ගෙන් එක එක ප්‍රශ්න අහලා එයාව කතාවට අල්ලගන්න එක.මන් ඉතින් මගේ වැඩේ කරගෙන පොඩි රවුමක් දාලා පන්තියට එද්දී මෙන්න යකෝ පන්තියම කොරිඩෝවේ දනගහන් ඉන්නවා.

අලුතෙන් ආව සර් කෙනෙක් කොනක ඉඳන් ගහගෙන එනවා කොල්ලොන්ගේ කනට. ටාං ටෝං චටාර් පටාර් . හෙන ශෝ එක එතන. අනිත් පන්තිවල කොල්ලො දැල්වල එල්ලිලා බලන් ඉන්නවා සීන් එක.මාත් හිටිය බලාගෙන මොකක්ද උනේ කියල දන්නෙත් නෑනේ.මාව දැක්කා විතරයි අහ් උබත් මේ පන්තියේද අහලා මටත් දන ගහන්න කිව්වා කියහන්කො.දෙයියනේ කියලා සැපට කම්මුල් පාරකුත් කෑවට පස්සේ තමා දන්නේ අපේ උන් කටු චූටිට විහිළු කරලා පස්සේ එයා අඬාගෙන ගිහින් මේ සර්ව ෆෝම් කරලා කියලා.මොනවා කරන්නද ඉතින් එක පත බෙදාගෙන පන්තියත් එක්කම ගුටි කෑව.


පහුවෙනිදා උදේ ආරංචියක් එනවා කවුරු හරි කලින් දවසේ හවස අර සර්ගේ කාර් එකේ රෝද හතරෙම හුලං ඇරලා කියලා.හරිම කැත වැඩක් නේද යාලුවනේ.කවුද දන් නෑ කළේ.

~සිතූ~

Wednesday, June 16, 2021

අපේ දේසේ අපේ කතා - 03- අපේ ටියුෂන්


කොළඹ ඉපදිලා කොළඹ හැදිලා වැඩුණු අපිට නුගේගොඩ කියන්නේ අමුතු පැත්තක් නෙමේනෙ.ඉතින් අපොස උසස් පෙළ කරන කාලේ වෙච්චි සන්තෑසියක් ගැන තමා ඔන්න මේ හෑල්ල.සාමාන්‍ය පෙළට ගණිතයයි විද්‍යාවයි A සාමාර්ථ ඇවිල්ලා මන් තමයි ඇල්බට් අයින්ස්ටයින් කියලා හිතිච්ච කලෙක මංතුමත් රැල්ලට මැත්ස් තමා තෝරගත්තෙ.උදේ ඉස්කෝලෙ යනවා හවසට ටියුෂන් යනවා.ඉස්කෝලෙ නැති දවස් දෙකෙත් ටියුෂන් තමා.ටියුෂන් පන්තිවල කියලා දෙන ඒවා මෙලෝ දෙයක් තෙරුන් නැති වුණත් විභාගෙට කලින් කරන බෝධි පූජාව නිසා හරි පාස් වෙයි කියලා හිතන් අපි හැමදාම පන්තියට ගියා.


දවසක් හවස තිබ්බ පන්තියක් ඉවර වෙලා මං ඉන්නවා බස් එකක් එනකල් නුගේගොඩ ජෝන් එක ගාව රොටරි හෝල්ට් එකේ.ගොඩ දෙනෙක් මාත් එක්කම හෝල්ට් එකට අවට මොකෝ 138/4 වගේ සුන්දර රූට් එකක බස් එකක් බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙන්නේ මන් විතරයි. ආව ආව අනිත් හැමෝම එක වැලට එන මත්තේගොඩ කොට්ටාව හෝමාගම බස් වල නැගලා යන්න ගියා.කොහොමහරි අවසානෙට මන් විතරයි ඉතුරු.මන් හිටි තැන පොඩි අඳුරු ගතියක් තිබ්බත් එහෙට මෙහෙට යන වාහන නිසා ඒ චූටි වෙලාවකට විතරයි.


ඔන්න ටිකකින් තව කොල්ලො දෙන්නෙකුත් යන්තම් හෝල්ට් එකට ආව.වැඩේ කියන්නේ හෝල්ට් එකට ආවට මොකෝ මුන් දෙන්නගේ හොර බැල්මට් එක අහුවෙන්න මට එච්චර වෙලා ගියේ නෑ. මං ඉස්කෝලෙ ඇඳුමෙන් ඉන්න නිසා මුන් වැඩිය කිට්ටු කරන පාටකුත් නෑ.මට නම් හිතුනෙම හැබැයි කරවල වේලන්න යන්න වෙන සීන් එකක් සෙට් වුණා තමයි කියලා.අවුරුදු 17ක් 18 ක් වුණාට මොකෝ අපේ ආච්චි හැමදාම උදේට එළියට බහිද්දි අනිවාර්යෙන් කියන කතාවක් තමා ඔය කරවල වාඩියේ සීන් එක.අඳුනන් නැති අයත් එක්ක කතා කරන්න එපා.වාහනේකට දාගෙන උස්සන් යයි කරවල වේලන්න කියලා.


පාරේ වාහන ටිකක් එහේ මෙහෙ වෙලා එළිය අඩුවෙනකල් ඉඳලා මෙන්න මුන් දෙන්නා මගේ දෙපැත්තෙන් ඇවිත් හිට ගත්තේ නැතෑ.හදිස්සියට එක පැත්තකටත් වත් දුවගන්න විදියක් නෑ.එකෙක් අහපි 

" මල්ලි රොටරියේද " කියලා.

මන් සද්ද නෑ.ආයෙම අහනවා ඒ ප්‍රශ්නෙම.

" මල්ලි රොටරියෙද .

" ඔව් " මන් දුන්නා උත්තරේ.

" ඔයා මේ නංගීව අඳුනනවද " කියලා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් පෙන්නුවා ඒ පාර.

යකෝ සංචරණ සීමා දාලා තියෙන්නේ කියලත් පාරට එනවට වැඩිය සෙනඟක් යන එන රොටරියේ කෙල්ලෙක් මතක හිටිනවා නම් බේකර් ස්ට්රීට් එකේ ශලොක්ට වඩා වැඩ්ඩෙක් වෙන්න එපැයි මන්.

"අපෝ නෑ .දැකලවත් නෑ."

"වෙන්න බෑනේ.මේ නංගි නම් කිව්වේ ඔයා එයාව දන්නවා කියලා."

මොන ගිනිගෙඩියක්ද යකෝ මේ පාත් වුනේ කියලා හිතුවත් වැඩි කලබලයක් නැතුව මන් එතනින් මග ඇරලා යන්නයි හැදුවේ.

මෙන්ම එක පාරටම මුන්ගේ වෙස් පෙරලුනා.එකෙන් පොඩි පිහි කෑල්ලක් අතට අරන් "ගනින් යකෝ පර්ස් එක" කිව්වා.

අනිත් එකා වට පිට බලනවා මොකෙක් හරි එයිද කියල.මගේ කරුමෙට මේලෝ එකෙක් නෑ.අනේ ඉතින් ඉස්කෝලෙ යන අපිට මොන සල්ලිද ආයුබෝවන්ඩ.තිබ්බත් ඒ කාලේ ඕවා පර්ස් වල දාගෙන ඉන්නේ නෑ .ඉතින් බය නැතුව පර්ස් එක අරන් දුන්නා උගේ අතට.

" අපෝ බං රුපියල් 150 නේ තියෙන්නේ."

"ඔව් අයියේ මන් අතුරුගිරියට බස් එකේ ගිහින් එතනින් විල් එකක් අරන් යන්නේ. ගානට සල්ලි තියන් ඉන්නේ අයියේ.ඔයාලට ඕනේ නම් 100 ගන්න.මට බස් එකේ යන්නවත් 50 දීලා යන්න."

ෆුල් දුක් සීන් එකෙක් මන් කිව්වා. 

"අපෝ බං මූ අඬනවනෙ."

"හා එහෙනම් ඉඳා "

කියලා පර්ස් එකයි රුපියල් 50 මට දීලා රුපියල් 100 අරන් මුන් ගියා කියහන්කො. හරිම හොඳ අයියලා දෙන්නෙක්.දැන් ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති පව් අර මහ රෑ කොල්ලා අතුරුගිරියට බස් එකේ ඇවිත් එතන ඉඳන් පයින්ම ගෙදර එන්න ඇති කියලා.මොන පිස්සුද.සල්ලි තියෙන්නේ සාක්කු වලනේ. මේන් මොණරු.

~සිතූ~

අපේ දේසේ අපේ කතා - 02- අපේ ලව්

 

දැන් පත පොත නොකියෙව්වට ඒ දවස් වල නම් කඩේ පාන් රාත්තල ඔතලා දෙන කොලෙත් කියෙව්ව මිනිස්සු අපි. පුස්තකාල වලින් අරන් යාලුවන්ගෙන් ඉල්ලන් කියවලා කියවලා ඒ දවස් වල යාළුවෝ එක්ක තර්ක කරන්නත් යනවා කාටද වැඩිම වේගෙන් පොතක් කියවන්න පුළුවන් කියලා.ඉස්කෝලෙ 6,7 කාලෙත් උදේට කියවන්න පටන් ගන්න පොත ඉන්ටවල් එකට කලින් කොහොමහරි උගන්නන අස්සෙත් කියවලා ඉවර කරන්න තරම් දස්සකමක් ඒ කාලේ තිබුණා.


කාලයක් තිබ්බා මන් තනියම රෑ වුණාම එළියටවත් බහින් නෑ.(අදට කියලත් ඒකේ ලොකු වෙනසක් නෑ) ඒකට ළඟම හේතුව වුනේ ඩ්‍රැකියුලා ගැන කියවපු පොතක්.වවුලෙක් ඇවිල්ලා ලේ බොයි කියලම හිතෙනවා එළියට බැහැපු ගමන්.එච්චරටම පොත හිතේ.කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කව්ද කිව්වා කියලත් මන් කොහේහරි තිබිලා කියෙව්වා.


ඉතින් පටන් ගත්තේ පොත් ගැන වුණාට කතාව නම් ඒක නෙම්.මන්තුමා ඔය පොත් කියවන කාලේ දහම් පාසලකටත් ගියා.අපරාදේ කියන්න බෑ කීකරු බෞද්ධ දරුවෙක් මන්.අපේ ප්‍රධානාචාර්ය හිටියේ හාමුදුරු කෙනෙක් නෙමේ.ගුරුවරියක්.උදේට මල් ගෙන්න ලබන සතියේ කියලා කිව්වොත් සතියම හරි මල් කඩලා උස්සගෙන යනවා ඉරිදට.ලබන සතියේ උදේ රැස්වීමේ කතාවක් කරන්න කිව්වොත් ආයේ ඉතිං වෙඩි වගේ කතා.කවි නම් කවි.ඔහොම ඔහොම දර දිය ඇදලා ප්‍රධාන ශිෂ්‍ය නායක පට්ටමකුත් ගහ ගත්තා.දැන් ඉතින් මේක කියවන ඔයාලා හිතන්න එපා මූ ගොට්ට අල්ලලා කියලා.ඒ දවස් වල අපි ඔය ගොට්ට අල්ලනවා කියන එක දැනගෙනවත් හිටියේ නෑ.සිල්වත් අවංක හිතින් තමා ඔක්කොම කලේ.


ආදම් මැව්වට පස්සේ ආදම්ගේ තනිකමට ඒවා මැව්වා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතින් ආදම් නැත්තං ඒවා කෙනෙක් නෑ.රාම නැත්තං සීතා කෙනෙක් නෑ.කුස නැත්තං පබා කෙනෙක් නෑ.දික්තලා නැත්තං කාලගෝල කෙනෙක් නෑ.කොටින්ම කියනවා නම් ජුලියස් නැත්තං සීසර් කෙනෙකුත් නෑනේ.සොරි සොරි ඒ වෙන සීන් එකක්.රෝමියෝ නැත්තං ජුලියට් කෙනෙකුත් නෑනේ.ඔයාලට තේරෙනවා ඇතිනේ ගොනා හැරෙන්නේ කොහේටද කියලා.ඉතින් අර කිව්වා වගේ ශිෂ්‍ය නයකයටත් නයිකාවක් ඕනෙනෙ.අහිංසක නංගි පොඩ්ඩක් තමා අපේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව.


අනේ ඉතින් මට මවපු කෙනානේ කියලා ඕං මං එයත් එක්ක යාළු වුණා.යාළුකම් ආදරේ වෙලා අවුරුදු තුන හතරකුත් ගතවුනා.ලියුම් එහේ මෙහෙ වුණා.අද කාලේ වගේ ෆෝන් තිබ්බා එකක්යැ.හදිස්සියට හරි ගත්තොත් ලෑන්ඩ් ෆෝන් එකට තමා.හම්බෙන්නේ කරන්නෙත් දහම් පාසලේදී විතරයි.ආදරේ කරන්න ඉගෙන ගන්න කාලෙනේ අනේ මොනවා කරන්නද.පැණි වරකා ගහටත් හෙන ගහනවනේ.දවසක් මේ නංගි මට ලියුමක් එවනවා මේන් මෙහෙම.අනේ අයියේ ඔයාට දැනටම ආරංචි වෙලා ඇති මගෙයි තරිඳුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.එයා මගේ යාළුවා විතරයි අයියේ.අපි පාඩම් කරන්නේ එකටනේ කියලා. අවංකෙන්ම කියනවනම් එයා ඕක කියනකල් මන් ඔහොම දෙයක් දැනන් හිටියෙත් නෑ.ඔහොම නෙමේ මොනවා කිව්වත් මංතුමා නෙමේ අවිශ්වාසේ ඉස්සර කරගන්නේ.දෙසැම්බර් ප්‍රේමවන්තයෝ අවංකයිලුනේ.ඔය ලියුම හම්බෙලා සතියක් යන්න ඇති ඔන්නම්.දවසක් මට ඒ නංගීව හම්බෙනවා බස් එකේදි.තනියමද? නෑ තව කොල්ලෙක් එක්ක.වෙන කව්ද ඉතින් තරිඳු තමා.අපි අතර කොයි තරම් හොඳ සම්බන්ධයක් තිබිලාද කියනවනම් අපේ ආදරේ ඉවරයි කියලා මං දැනගත්තෙත් එතකොට..ආයේ කාටවත් ලියුම් ලියන්න ගියේ නෑ.


~සිතූ ~

අපේ දේසේ අපේ කතා - 01-අපේ ට්‍රැෆික්

උදේ හවස කොළඹ යන අයට නම් මේ පාර ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ.නොදන්න අයටත් එක්ක මතක් කරනවා නම් මේ තමයි බත්තරමුල්ලේ සෙත්සිරිපාය ළඟ ඉඳලා දියත උයන පැත්තට දිවෙන මාර්ගය.සතියේ දවස් නිවාඩු දවස් කියලා වෙනසක් නැතුව උදේ පාන්දර පටන් ගත්තහම 10.00-11.00 විතර වෙනකල් ,සමහර දවස්වලට ඊට පස්සෙත් පට්ටම ට්‍රැෆික් එකක් අහුවෙන හරියක් තමයි මේක.ඒ හින්දම ගොඩ දෙනෙක් පාර්ලිමේන්තු පාරෙන් දාලා යන්න තමා පුරුදු වෙලා ඉන්නේ.(ඒ පැත්ත වී.අයි.පි. නිසා ඉක්මනට යවනවනේ)

මං තුමත් ඉතින් මේ පාරේ අවුරුදු 15ක් විතර එක දිගටම ගියා.අවුරුදු 7 ක් ඉස්කෝලෙ යන කාලේ, අවුරුද්දක් ටෙක් යන කාලේ.පස්සේ ඉතිං වැඩට යන කාලේ.ඔන්න ඔය තරම් සමීප වෙච්චි රූට් එකේ වැඩට යන කාලේ නම් ගොඩක් වෙලාවට මං සෙත්සිරිපාය ළගින් බැහැලා දියත උයන පාලම එහෙමත් පහු කරන් පිට කෝට්ටේ හැරෙන පාර ගාවින් වෙන බස් එකකට නැගලා තමා රාජගිරියට ගියේ.හැබැයි ඉතින් එතනත් ට්‍රැෆික් නම් බත්තරමුල්ලේ ඉඳන් රාජගිරියට පයින් ගිය දවස් ඕනේ තරම් ඇති.ඔන්න අපේ රාජකාරියට තියෙන කැපවීම.

ඉතින් දවසක් මෙහෙම වාහන තදබදයක් තිබ්බ දවසක 8.30 ට කලින් ගිහින් ෆිංගර් ප්‍රින්ට් එක ගහන්නත් ඕනේ නිසා මං බත්තරමුල්ලේ ෆුඩ් සිටිය හරියෙන්ම බස් එකෙන් බැස්සා.කියන්න සන්තෝෂයි මන් වගේම අදහස් තියෙන මිනිස්සු තමා ඔක්කොමලම.බස් පහු කරගෙන අපි පයින් යනවා.සමහර බස් වල නම් රියදුරු මහත්තයා විතරයි.කොන්දොස්තර අයියත් බැහැලා පයින්ම ඉස්සරහට ගිහින් වෙන බස් එකක් ගාව කියෝ කියෝ ඉන්නවා.ඉතින් මෙහෙම උසේන් බෝල්ට් දුවන්න පුරුදු වෙනවා වගේ තමා ඔක්කොමලා යන්නේ.සෙත්සිරිපාය පහුවුණා.ඊළඟට රබර් සිල් හදන කඩයක් තියෙනවා ඕකත් පහුවුනා.මේ කලබල අස්සේ පේමන්ට් එකෙන් යන්න ආපු බයික් සහෝදරයෙක්ට හොන් එකට අත තදවෙලා ගලෝගන්න විදියක්ම නැතුව වගේ මේකා හෝන් එකේමයි.අපරාදේ කියන්න බෑ මාත් එක්ක එක පෙළට පයින් යන සියලුම සේවක ජනතාව අරූව කනකට ගන් නෑ.ඒ අස්සේ දෙන්නෙක් කතා වෙනවත් ඇහුණා ඉඩ දෙන්න හොඳ නෑ ඕකුන්ට කියලා.අනේ ඉතින් මේ කතා අහගෙන මන් තුමාත් දඩි බිඩියෙ ඇවිදන් යනවා.බයික් සහෝදරයාත් වැඩේ අතහරින පාටක් නෑ.ඉඩ දෙන් නැත්තං ඇඟ උඩින් හරි යන සීන් එකෙන් පස්සෙන්ම එනවා.බැරිම තැන ඔන්න කීප දෙනෙක් ඌට ඉඩ දුන්නා.අපිව පහුකරන් යන ගමන් මූ කියනවා

 " උඹලා හැමදාම පයින් යන්නේ ඔය හිතන විදිය හින්දා තමා කියලා".

ඒ කලබල අස්සේ ඕක එච්චර දැනුන් නැති උනත් පස්සේ කල්පනා කරල බැලුවම කතාවේ ගත යුත්තකුත් තියෙනවා කියලා තමා මට නම් හිතුනේ.ඉතින් දෙයියනේ කියලා පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා මාත් ගත්තා ගිහින් බයික් එකක්.දැන් හෝන් ගහන්නේ මන්.

~ සිතූ ~

අපේ දේසේ අපේ කතා - 05-අපේ ක්‍රිකට්

  ක්‍රිකට් කියන්නේ සුද්දන්ගෙ ක්‍රීඩාවක් උනත් ලාංකිකයින් විදියට අපේ බොක්කටම දැනෙන ක්‍රීඩාවක්නේ ඕක.කොච්චර ක්‍රිකට් ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වල...