දැන් පත පොත නොකියෙව්වට ඒ දවස් වල නම් කඩේ පාන් රාත්තල ඔතලා දෙන කොලෙත් කියෙව්ව මිනිස්සු අපි. පුස්තකාල වලින් අරන් යාලුවන්ගෙන් ඉල්ලන් කියවලා කියවලා ඒ දවස් වල යාළුවෝ එක්ක තර්ක කරන්නත් යනවා කාටද වැඩිම වේගෙන් පොතක් කියවන්න පුළුවන් කියලා.ඉස්කෝලෙ 6,7 කාලෙත් උදේට කියවන්න පටන් ගන්න පොත ඉන්ටවල් එකට කලින් කොහොමහරි උගන්නන අස්සෙත් කියවලා ඉවර කරන්න තරම් දස්සකමක් ඒ කාලේ තිබුණා.
කාලයක් තිබ්බා මන් තනියම රෑ වුණාම එළියටවත් බහින් නෑ.(අදට කියලත් ඒකේ ලොකු වෙනසක් නෑ) ඒකට ළඟම හේතුව වුනේ ඩ්‍රැකියුලා ගැන කියවපු පොතක්.වවුලෙක් ඇවිල්ලා ලේ බොයි කියලම හිතෙනවා එළියට බැහැපු ගමන්.එච්චරටම පොත හිතේ.කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කව්ද කිව්වා කියලත් මන් කොහේහරි තිබිලා කියෙව්වා.
ඉතින් පටන් ගත්තේ පොත් ගැන වුණාට කතාව නම් ඒක නෙම්.මන්තුමා ඔය පොත් කියවන කාලේ දහම් පාසලකටත් ගියා.අපරාදේ කියන්න බෑ කීකරු බෞද්ධ දරුවෙක් මන්.අපේ ප්‍රධානාචාර්ය හිටියේ හාමුදුරු කෙනෙක් නෙමේ.ගුරුවරියක්.උදේට මල් ගෙන්න ලබන සතියේ කියලා කිව්වොත් සතියම හරි මල් කඩලා උස්සගෙන යනවා ඉරිදට.ලබන සතියේ උදේ රැස්වීමේ කතාවක් කරන්න කිව්වොත් ආයේ ඉතිං වෙඩි වගේ කතා.කවි නම් කවි.ඔහොම ඔහොම දර දිය ඇදලා ප්‍රධාන ශිෂ්‍ය නායක පට්ටමකුත් ගහ ගත්තා.දැන් ඉතින් මේක කියවන ඔයාලා හිතන්න එපා මූ ගොට්ට අල්ලලා කියලා.ඒ දවස් වල අපි ඔය ගොට්ට අල්ලනවා කියන එක දැනගෙනවත් හිටියේ නෑ.සිල්වත් අවංක හිතින් තමා ඔක්කොම කලේ.
ආදම් මැව්වට පස්සේ ආදම්ගේ තනිකමට ඒවා මැව්වා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතින් ආදම් නැත්තං ඒවා කෙනෙක් නෑ.රාම නැත්තං සීතා කෙනෙක් නෑ.කුස නැත්තං පබා කෙනෙක් නෑ.දික්තලා නැත්තං කාලගෝල කෙනෙක් නෑ.කොටින්ම කියනවා නම් ජුලියස් නැත්තං සීසර් කෙනෙකුත් නෑනේ.සොරි සොරි ඒ වෙන සීන් එකක්.රෝමියෝ නැත්තං ජුලියට් කෙනෙකුත් නෑනේ.ඔයාලට තේරෙනවා ඇතිනේ ගොනා හැරෙන්නේ කොහේටද කියලා.ඉතින් අර කිව්වා වගේ ශිෂ්‍ය නයකයටත් නයිකාවක් ඕනෙනෙ.අහිංසක නංගි පොඩ්ඩක් තමා අපේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව.
අනේ ඉතින් මට මවපු කෙනානේ කියලා ඕං මං එයත් එක්ක යාළු වුණා.යාළුකම් ආදරේ වෙලා අවුරුදු තුන හතරකුත් ගතවුනා.ලියුම් එහේ මෙහෙ වුණා.අද කාලේ වගේ ෆෝන් තිබ්බා එකක්යැ.හදිස්සියට හරි ගත්තොත් ලෑන්ඩ් ෆෝන් එකට තමා.හම්බෙන්නේ කරන්නෙත් දහම් පාසලේදී විතරයි.ආදරේ කරන්න ඉගෙන ගන්න කාලෙනේ අනේ මොනවා කරන්නද.පැණි වරකා ගහටත් හෙන ගහනවනේ.දවසක් මේ නංගි මට ලියුමක් එවනවා මේන් මෙහෙම.අනේ අයියේ ඔයාට දැනටම ආරංචි වෙලා ඇති මගෙයි තරිඳුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.එයා මගේ යාළුවා විතරයි අයියේ.අපි පාඩම් කරන්නේ එකටනේ කියලා. අවංකෙන්ම කියනවනම් එයා ඕක කියනකල් මන් ඔහොම දෙයක් දැනන් හිටියෙත් නෑ.ඔහොම නෙමේ මොනවා කිව්වත් මංතුමා නෙමේ අවිශ්වාසේ ඉස්සර කරගන්නේ.දෙසැම්බර් ප්‍රේමවන්තයෝ අවංකයිලුනේ.ඔය ලියුම හම්බෙලා සතියක් යන්න ඇති ඔන්නම්.දවසක් මට ඒ නංගීව හම්බෙනවා බස් එකේදි.තනියමද? නෑ තව කොල්ලෙක් එක්ක.වෙන කව්ද ඉතින් තරිඳු තමා.අපි අතර කොයි තරම් හොඳ සම්බන්ධයක් තිබිලාද කියනවනම් අපේ ආදරේ ඉවරයි කියලා මං දැනගත්තෙත් එතකොට..ආයේ කාටවත් ලියුම් ලියන්න ගියේ නෑ.
~සිතූ ~

No comments:
Post a Comment